හේමාස් “පියවර” කියන්නේ අපේ ගමට පායපු තරුවක්!

12 Feb, 2021

”දරුවෙකුගේ මුල් ළමාවිය සංවර්ධනයට අවශ්‍ය සියළු පහසුකම් සහිත මෙවන් පරිසරයක් තුළ හැදෙන දරුවෙක් කවදාවත් සමාජෙට අහිතකර දරුවෙක් වෙන්නේ නෑ. අපේ දරුවෝ මීට ඉස්සෙල්ලා ඉගෙන ගත්තේ මැටි වලින් ඉදිකරපු තාවකාලික මඩුවක. හේමාස් “පියවර” කියන්නේ අපේ ගමට පායපු තරුවක්.” පද්මා කුමාරි – ප්‍රධාන ගුරුතුමිය පියවර පෙර පාසල -උහන.

මේ හේමාස් පියවර තම 58 වැනි පෙර පාසල, අම්පාර තිස්සපුර, බටහිර ප්‍රදේශයේ විවෘත කිරීමේ දී එහි ප්‍රධාන ගුරුතුමිය දැක්වූ සංවේදී අදහසකි. තිස්සපුර බටහිර යනු අම්පාර දිස්ත්‍රික්කයේ උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත්, වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අති දුෂ්කර ප්‍රදේශයක් වන අතර එහි වෙසෙන දුප්පත් පවුල්වල බොහෝ දෙනෙක් දිනපතා කුලියට කම්කරුවන් ලෙස හෝ පෙදරේරුවන් ලෙස කටයුතු කරන්නන් වෙති.

ශ්‍රී ලංකාවේ සෑම ප්‍රදේශයකම විවිධ සමාජ හා ආර්ථික පසුබිම්වලින්‍ එන දරුවන්ට සම අවස්ථා සැලසෙන පරිදි මුල් ළමාවිය සංවර්ධනය කළ යුතුය යන සමාජ වගකීම මැනවින් වටහා ගත් “පියවර”, ලංකාවේ අති දුෂ්කර ප්‍රදේශ සොයා ගොස් පෙර පාසල් ඉදි කර දෙන්නේ එහි ප්‍රතිඵලයක් ලෙසිනි. මෙම පෙර පාසල ඉදි කිරීම සඳහා මූල්‍යමය දායකත්වය සපයන ලද්දේ ජර්මනියේ  Fly & Help ආයතනය විසිනි.

රටේ පවතින වාතාවරණය අනුව නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව අවම පිරිසකගේ සහභාගිත්වයෙන් පැවති මෙම විවෘත කිරීමේ උත්සවය සඳහා, අම්පාර දිස්ත්‍රික් ලේකම් ඩී.එම්.එල් බණ්ඩාරනායක මහතා ගේ ප්‍රධානත්වයෙන් යුත් රාජ්‍ය නිළධාරීන් කිහිපදෙනෙක්ද ඇතුළු දෙමාපිය දූ දරුවන් සීමිත පිරිසක් සහභාගී විය.

පෙර පාසලේ ප්‍රධාන ගුරුතුමිය පැවසූ පරිදි සැලකිය යුතු මට්ටමේ අයදුම්පත් ප්‍රමාණයක් අතරින්, රටේ පවතින කොවිඩ් අවධානම යටතේ වුවද මේ වන විට ළමුන් 27 දෙනෙකු පෙර පාසලට පැමිණ ඇත.